Wednesday 10 September 2014

මාක්ස් ඇත්තටම ආගම් අබිං කියා කීවද?


කාල් මාක්ස් ඇත්තටම කිවේ නෙමේ , ඇත්තටම අදහස් කලේ මොකක්ද කියන එකයි මෙතන වැදගත්.
මාක්ස් මේ ගැන සඳහන් කලේ "ක්‍රිටික් ඔෆ් හෙගල්ස් ෆිලොසොපි ඔෆ් රයිට් " -(ක්‍රි ව 1843)"කියන පොතේ.  ඉංග්‍රීසියෙන් කියවන්න අවශ්‍යනම් පහත යොමුවට යන්න.
http://www.marxists.org/archive/marx/works/download/Marx_Critique_of_Hegels_Philosophy_of_Right.pdf
මාක්ස් හේගල්ගේ දක්ෂිණාංශික දර්ශනවාදී නැඹුරුව විවේචනය කරමින් ලියු පොත් පිංචේ මුල හරියේ එන සඳහනක් තමා  මේක.

මිනිසුන් -පතල් කම්කරුවන්, ඇමෙරිකාවේ වහලුන් , ප්‍රවේනි දාස ගොවින් දරුණු තත්ව මත වැඩ කරලා යන්තම් පඩියක්  අරගෙන නොමැරී මැරී ජිවත් වෙන කොට ඔවුන්ට තිබුන එකම සහනය පල්ලියට යාම. පල්ලියේ කැරොල් ගායනා අදත් වහලුන්ගෙන් පැවත එන ඇමෙරිකන් කළු ජනයා  අතර ජනප්‍රියයි. දේවගැති වරු දෙවියන් පෙන්නලා ඒ අහිංසක මිනිසුන් වත් මුලා  කලා . කඩා  වඩා ගත්තා. කන්න නැති වුනත් සල්ලි දීපන් ස්වර්ගයට යන්න ඕනේ නම් කියලනේ  කීවේ. " මාක්ස් කිවේ මිනිස්සු අබිං ගන්නේ මත්  වෙලා ප්‍රශ්න අමතක කරන්න . මාක්ස් කීවේ  ආගම මිනිස්සුන්ට සැබෑ  ප්‍රශ්න (ධනපති පන්තියේ අකාරුණික පීඩනය) අමතක කරවල ස්වර්ගයක් පෙන්නලා මත් කරනවා. හරියට අබිං වගේ. " ඉතින් ඒක  වැරදි කතාවක් හැටියට මම නම්  දකින්නේ නැහැ.

මෙන්න ඒ කොටස:
"Religious suffering is, at one and the same time, the expression of real suffering and a protest against real suffering. Religion is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of soulless conditions. It is the opium of the people.

The abolition of religion as the illusory happiness of the people is the demand for their real happiness.
To call on them to give up their illusions about their condition is to call on them to give up a condition that requires illusions. The criticism of religion is, therefore, in embryo, the criticism of that vale of tears of which religion is the halo."

suffering කියන්නේ දුක නම් සැබෑ දුක පෙන්වන්නේ සහ සබැ දුකට එරෙහිව විරෝධය දක්වන්නේ ආගම මගින්. ආගම යනු පීඩිත බවට පත් වුනු සත්වයාගේ සුසුම,  (සැබෑ) හදවත් වලින් තොර ලෝකයේ හදවතයි, (පිරිසිදු)  ආත්මයන්  ගෙන් තොර ලොවක  (මෙහි ඇත්තේ තත්වයන් conditions යන වචනයයි) ආත්මයයි. එය මිනිසුන්ගේ (මිනිසුන් මත්  කරවා වේදනාව අමතක කරවන ) මත්ද්‍රව්‍යයයි.  (මෙහිදී අබිං)

මිනිසුන්ගේ සැබෑ සතුට ලබා ගැනීම සඳහා ඇති අවශ්‍යතාවය ආගම නැති කිරීම වන්නේ එයින්  මිනිසුන් ආගම මගින් ලබා ගන්නා මායාකාරී සතුට නැති කර දමන නිසයි.

අපි මිනිසුන්ගෙන් ඉල්ලුවොත් ඔබේ මායාකාරී බැඳි  බිඳ දමන්න කියා, ඉන් අදහස් වන්නේ එම මායාකාරී සතුට ගෙනේ දෙන තත්වයන් (ආගම)  අත් හැර දැමීමයි.  අපි  ආගම විවේචනය කරන්නේ මුලික වශයෙන් (දුක්ඛිතයන්ගේ ) ඒ කඳුළු ගංගාවේ (මෙහිදී වේලය හෝ නිම්නය යන අරුතද ගත හැක. ) රැස්  වළල්ල (halo) ආගම නිසයි.

මාක්ස් අබිං  - පාවිච්චි කර ඇති හේතුව කුමක්ද? අබිං කියන්නේ ඒ දවස් වල රෝහල් වල වේදනාව තුරන් කිරීමට පාවිච්චි කල මත්  ද්‍රව්‍යයක්.  එයම මිනිසුන් මත්  වීමටත් පාවිච්චි කලා චීනය වගේ රටවල. එතකොට මාක්ස් ඇත්තටම ඒ දවස් වල එංගලන්තයේ හා යුරෝපයේ පතල් වල කම්හල් වල වැඩ කල මිනිසුන් හා ඔවුන්ගේ දුක් පීඩා  දැක ඔවුන්ට අනුකම්පා කර  ලියු දෙයක් මේක. ඒ මිනිසුන් තම වේදනාව ඉදිරියේ ලැබෙන ස්වර්ගයක් ගැන හිතා තාවකාලිකව මැඩ  ගන්නවා. පල්ලියට ගිහින් සුළු නිදහසක් හරි භුක්ති විඳිනවා. ධනපතියන් විසිකරන මස් කට්ටක් ක්‍රිස්මස් දවසට හම්බ වෙනවා. ඕක තමා  මාක්ස් කිවේ.

දැන් මේක ඇත්තටම මාක්ස් කියාපු දෙයක්ද? නැත්නම් ඔහු උපුටා ගත්තද? ඉතිහාසඥයන් මේ පිළිබඳව සැක පහල කරනවා. මොකද මෙහි "This opium you feed your people"  කොටස මුලින්ම පලවෙලා තිබෙන්නේ මාර්කස් දේ සාදේ (Marquis de Sade) නමැති ප්‍රංශ වංශාධිපතියෙකු හා විප්ලවීය දේශපාලකයෙකු හා ලේඛකයෙකු ලියු "ජුලියට් ගේ ඉතිහාසය "L'Histoire de Juliette " (http://en.wikipedia.org/wiki/Opium_of_the_people) නමැති පොතේ. පොත පලවෙලා තිබෙන්නේ 1797. මාක්ස් වගේ පොත් හුඟක් කියවපු දර්ශනවාදියෙකුට මේ පොත මිස් වෙන්න විදියක් නැහැ. එකම දේ මේ පොත ටිකක් දරුණු පොතක්. සදේ කියන්නේ හුඟක් නිදහස් මිනිහෙක්. ඒ දවස්වල ලිංගික වශයෙන් නිදහස නැති කාලෙක  ඔහු ආගම එපා, නීති එපා , අද සතුටෙන් ජීවත් වෙන්න කියා කිවේ. මෙහි එන ජූලියට් ඒ වගේ හැමෝම සමග රති රමණය කල නිදහසේ ජිවත්  වූ ස්ත්‍රියක්. හුඟක් වෙලාවට මාක්ස් ඒ ආශ්‍රය (reference ) දුන්නේ නැත්තේ ඒ නිසා වෙන්නත් පුළුවන්. 
සදේ කියන්නේ මෙහෙම.: 
ජුලියට් ෆෙර්ඩිනන්ඩ් රජුට මෙහෙම කියනවා.
ඔබ නුවනැත්තන්ගේ ඇසට බයයි ෆෙර්දිනන්ඩ් , ඒ නිසයි ඔබ මෝහය පැතිරීම උනන්දු කරන්නේ. ඔබේ මිනිසුන්ට දෙන මේ අබිං මගින් ඔවුන් මත්  වුණාම ඔබ ඔවුන්ට දෙන දැඩි වේදනාවන් ඔවුන්ට දැනෙන්නේ  නැහැ.  ඒ  නිසා තමා උගත් මිනිස්සු ඔබේ රාජ්‍යයේ (පාලනයේ) දක්නට නැත්තේ.  ඉගෙනීමට හා දැනීමට ලැබිය යුතු ප්‍රශංශා සත්කාර ලැබෙන්නේ නැති නිසා නුවණැති බවෙන් ලාභයක් නැහැ. ඒ නිසා කවුරුත් ප්‍රඥාව හොයන්නේ නැහැ.


You fear the powerful eye of genius, that is why you encourage ignorance. This opium you feed your people, so that, drugged, they do not feel their hurts, inflicted by you. And that is why where you reign no establishments are to be found giving great men to the homeland; the rewards due knowledge are unknown here, and as there is neither honor nor profit in being wise, nobody seeks after wisdom.


ප.ලි මට මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුනේ මාතලන්ගේ වෙබ් අඩවියේ ගිය සාකච්චාවක් නිසා.  මුස්ලිම් ආක්‍රමණයක් නැති බව සංඛ්‍යා ලේඛන සහිතව චානුක වත්තේගම ලියු ලිපියක මාත්  සම්බන්දවූ සංවාදයකදී මාක්ස් ආගම අබිං කියූ බව කෙනෙක් තර්කයක් හැටියට භාවිතා කලා.

16 comments:

  1. ඒ කතාව හරියටම හරි. ආගම කියන්නේ තවත් ව්‍යාපාරයක් මිස වෙන කිසිම දෙයක් නෙමෙයි. ආගම ඇදහීම අති දරුණුයි. ශ්‍රද්ධාව කියන්නේ මෝහනය, මුලාව. ඒ තත්වෙට පත් උන කෙනා ආගම වෙනුවෙන්. ආගම් වලින් එපා කියපු දේ උනත්, සාධාරණීකරනයට ලක් කරලා කරනවා ආගමේ නාමෙන්. අද ළෝකේ තියෙන ඔක්කෝම ප්‍රශ්ණ වලට මුල ඒක.

    ඇමරිකන් ජනාධිපති "ගෝඩ් බ්ලෙස් ඇමරිකා" කියන එකෙයි, අයිසිස් කාරයෝ "අල්ලාහූ අක්බාර්" කියන එකෙයි, අපේ උන් "අබ සරණයි" කියන එකෙයි කිසිම වෙනසක් නෑ..

    ReplyDelete
  2. එකත් ඉතින් ඇත්ත තමයි.

    ReplyDelete
  3. ආගම කියන දේ අදහන්න ගියාම තමයි ඔක්කොම ප්‍රශ්න.

    මිනිස්සුන්ගේ යහපැවැත්මට ඕන කරන යහපත් වද්දගත් දර්ශන සේරම ඔය ආගම් වල තියෙන ධර්මය ඇතුලේ තිබ්බට ඒ ආගම් වල අයිතිකාරයෝ වගේ හැසිරෙන පැවිද්දෝ සාමාන්‍ය ජනතාව ඒවා අවබෝධ කරගන්නවාට කැමති නැහැ.

    එතකොට මිනිස්සු නිදහසේ හිතන්න පටන් ගන්නවා.

    වත්පිළිවෙත් වලින් නීති රීති වලින් ධර්මය වහලා දාල තියෙන්නේ.එකෙක්ටවත් හොයාගන්න බැරි වෙන්න..

    ReplyDelete
  4. ඔව් ඒ කතාවත් ඇත්ත . මේ එතකොට දෙවෙනි විභීෂණ කියන්න පලවෙනි විභීෂණ දෙයියගේ අවතාරයද?

    ReplyDelete
  5. මටනම් හිතෙන්නේ ආගම නෙවෙයි අබිං , ආගම් වල ආරක්ෂකයින් හැටියට පෙනී ඉන්න අලුගුත්තෙරුවන් මිනිසුන්ට අබිං කවනවා . මම නම් දකින විදිහට අද ඉන්න කිසිම පූජකයෙක් ආගම් තුලින් මිනිස්සු හික්මවන්න හෝ ස්වර්ගයට හෝ නිවනට යවන්න කටයුතු කරන්නේ නෑ.

    අද වනවිට ආගම් ව්‍යාපාරයක් , ඉතාම ලාභදායි මෙන්ම සුඛෝපභෝගී ව්‍යාපාරයක් බවට පත් කරගෙන . ඊ නිසා ඔබ මුල චේද කීපයෙන් පෙන්වා ඇති පරිදි මාක්ස් අදහස් කල දේ නිවැරදියි .
    '
    ඒ සත්‍යය මිනිස්සු තේරුම් ගන්නවට කරපු දේ තමයි මාක්ස් වාදියෝ කිසිම ආගමක් පිළිගන්නේ නැති පව් කාරයෝ කියන මතය ගොඩ නැගීම

    ReplyDelete
  6. අර අපේ දේශ පාලකයෝ නිතරම කියන්නේ පත්තර තමන් කිව්වා දේ "taken out of context" කියල. ඒ වගේ තමා , එක වාක්‍යයක් අල්ලාගෙන මඩ ගහනවා ඉතුරු ටික කියවන්නේ නැතුව. ඇත්තටම මාක්ස් මිනිසුන්ට කිවේ මේ පුජක රැල ඔහෙලාව මුලා කර ගෙන ඉන්නේ ඇස් ඇර බලන්න කියලනේ. ඇත්ත බුද්ධ දර්ශනය වත් ජේසුස් වහන්සේ වගේ දුප්පත් මිනිසුන්ට අනුකම්පා කල කෙනෙක් වත් මිනිස්සු රැවටුවේ නැහැ නේ.

    ReplyDelete
  7. මෙතනදී සැබෑ සතුට කියන දෙය මොකක්ද කියන එක ගැටලුවක් මාක්ස විතරක් නෙමෙයි බටහිර සමාජය තුල ඔය
    ගැටලුව එතනදී සැබෑ සතුට වගේ දේවල් ලෞකිකව පවතිනවා කියන විශ්වාසය ඔවුන් තුල තියෙනවා
    ඒක හරියට සදාකාලික සැප සහික දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා විශ්වාස කරනවා වගේ දෙයක්
    නමුත් එහෙම දෙයක් තියෙන්න පුලුවන්ද
    මීටම සමාන දෙයක් මම නිරීක්ෂණය කරලා තියෙනවා
    බලන්න නත්තල කිට්ටුවෙනකොට හැම ඉරිදා පත්තරයකම කතෝලික මහත්මයෙක් හරි පියතුමෙක් ලිපියක් ලියනවා "මේකද සැබෑ නත්තල කියලා" මගෙන් කවුරු හරි ඕක ඇහුවනම් මම කියන්නේ "මේක තමා බොල" කියලා
    මට බෞද්ධයෙක් හැටියට කියන්න තියෙන්නේ සැබෑ සතුට සැබෑ ප්‍රේමය සැබෑ නත්තල සැබෑ බෞද්ධකම සැබෑ සිල්වත්කම වගේ දේවල් තියෙනවා කියා විශ්වාස කිරීම ආත්මවාදයක් කියලා

    ReplyDelete
  8. මාක්ස් මෙතන සැබෑ සතුට කියන එක දර්ශනවාදීව විග්‍රහ කරලා නැහැ. ඔහු බැලුවේ ලෞකිකව දුක් විඳින කම්කරුවන්ට ඉන් මිදීමට නම් නිෂ්පාදන බලවේග වෙනස් කර හොඳ පැදියක් ලබා ගත යුතුය යන්න. ඒ කාලේ දුක් විඳීම් වැඩියි.

    හැබැයි ලෞකික නොවන සතුටක් ඔබ හොයා යනවා නම් එයට මාක්ස්වාදයේ විරුධ්ධත්වයක් නැහැ. එක ඔබේ වැඩක්. මාක්ස්වාදීන් හා සමාජවාදීන් ඔබේ නිරාමිස අලෞකික සතුටවල් සොයා යෑමට බාධා කරනෙන් නැහැ. මෙතැනින් මට පෙන්වන්න උනේ ඕක. ඔබ හරියට බුදු දහම පිළිපදිනවා නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ එහෙම කරනවද කියන එකයි ප්‍රශ්නය? මාක්ස්වාදයට බනින්න තමන් බුද්ධාගමේ කියල කියන අයම බල්ලෙක් දැක්කොත් ගලක් අරන් ගහනවා.

    ReplyDelete
  9. අනික ඔබ බටහිර සමාජය තුල ඔය ගැටලුව තියනවා කියන්නේ , පෙරදිග සමාජය තුල එම ගැටලුව නැහැ වගේ? ඔබ ඔය කියන උතුම් පෙරදිග සමාජය කොහෙද තියෙන්නේ ? ටිබෙට් වලද?

    ReplyDelete
  10. බුද්ධාගමේ හැටියටත් ඒ වගේම ප්‍රායෝගිකව අපිට දැනෙන හැටියටත් සංසාරය තුර දුක ප්‍රධානයි සැප යනු දුකෙහි අතුරු ඵලයක් (උදාහරනයක් හැටියට තරඟයක් දිනීමේ සතුට තියෙන්නේ ඒ තරඟය දුෂ්කවීමේ දුක නිසා) එතනදී කියුබාවද ටිබෙට්ද කියන එක වැදගත් නෑ
    ඒ වගේම ඔයා සමාජවාදයට උදාහරන ලෙසදක්වන ජර්මන් ගැමි සමාජය වගේ එකක් ගැන ගැටලුවක් නෑ ඒවගේ ක්‍රමයක ලොකුම වාසිය පරිසර දූෂණය අඩුවීම. හැබැයි ධනවාදයට කැමති කෙනෙක්ට ඒ ක්‍රමය ඒකීය පුද්ගල අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ඒකීය පුද්ගල කැමැත්ත මත සංවිධානය වීමක් වගේ පැහැදිලි කරන්න පුලුවන් එහෙම නැත්නම් ධනවාදයට මානුෂික මුහුනුවරක් දීම කියන්නත් පුලුවන්
    නමුත් මෙතන ගැටලුව කොමියුනිස්ට් ලෝකයක් බිහිවීම විශ්වාස කරන්න පුලුවන්ද කියන එක ඇත්තටම ඒක වශ්වාස කරනවට වඩා යෙහෝවාගේ සාක්ෂිකාරයො වගේ ජේසු ස්වර්ගයේ ඉඳන් පාලනය කරන පාරාදීස පොලවක් බිහිවීම ගැන විශ්වාස කිරීම ප්‍රායෝගිකයි මොකද ඒක පාලනය කරන්නේ ජේසු, මාක්ස් කීව එක පාලනය කරන්නේ අපි වගේම මිනිස්සු
    බුදුදහම හරියට පිලිපදිනවා කියන එක හරියටම අර සැබෑ නත්තල සමරනවා වගේ දෙයක් නේද මේකෙදී කරන්න තියෙන එකම විසඳුම අර මහමෙවුනා ව්‍යවස්ථාව වගේ සම් සම්මුතියක් හදාගෙන එය පිලිපැදීම පමණයි

    ReplyDelete
  11. ජේසු ස්වර්ගයේ ඉඳන් ඇති කරන පාරාදීසය කොමියුනිස්ට් සමාජයට වඩා ප්‍රයෝගික නම් ජේසු ස්චාර්ගයේ ඉන්න බවත් ස්වර්ගයක් තිබෙන බවත් ඔබ හොඳින් දැනගෙන ඉන්න ඕනේ. එහෙම එකක් ම නම් දන්නේ නැහැ. නමුත් කොමියුනිස්ට් වැඩි සමාජයක් ධනවාදී සමාජයේ විකාශනය හා පන්තීන්ගේ ප්‍රතිවිරුධ්ධතා මත ඇති වන දේශපාලන ආර්ථික විද්‍යාවේ හා සමාජයේ පරිණාමය පිළබඳ හදාරා ඇති කරගත් නියමයන් මත විධ්‍යත්මකව ඔප්පු කල දෙයක් විද්‍යාත්මක කොමියුනිස්ට් වාදයේ ඔප්පු කරන්නේ එයයි. (Scientific communism ) එය එසේ නොවේ නම් ඔබ ඔප්පු කර පෙන්වන්න. මම එය පිළිගන්නම්.

    ReplyDelete
  12. බුදු දහම විතරක් නෙමේ ජේසුගේ දහමවත් හරියට පිලි පදිනවයි කියල මන් හිතන්නේ නැහැ. නමුත් එහෙම පිළිපදින අය ඉන්නවා. ජේසු මිනිසුන්ව පෙලපු tax කරපු පල්ලිවලට විරුද්ධව කතා කරලා එවල දුෂණ වලට විරුද්ධ වෙලා පොඩි මිනිසුන්ගේ පැත්තේ හිටි කෙනෙක්. දැන් එහෙමය ?

    ReplyDelete
  13. බටහිර අධ්‍යාපනයෙන් ඔලුව කුරුවල් වෙලා වගේ මේ සිංහලයන්ගේ..

    ReplyDelete
    Replies
    1. මොන සිංහලයන්ගේද ?මගේද ඔලුව කුරුවල් වෙලා තියෙන්නේ ? මේක මට නම් කිව්වේ මම ලැබුවේ බටහිර ධයපනයක් කියා නිගමනයකට එළඹුණේ කොහොමද?

      Delete
  14. //දේවගැති වරු දෙවියන් පෙන්නලා ඒ අහිංසක මිනිසුන් වත් මුලා කලා . කඩා වඩා ගත්තා. කන්න නැති වුනත් සල්ලි දීපන් ස්වර්ගයට යන්න ඕනේ නම් කියලනේ කීවේ.// මේ පූජක ව්‍යාපාරය ලංකාවේ ඇතැම් බෞද්ධ පූජකවරු දෙවියන් වෙනුවට “බුදුන්“ හෝ “ධාතු“ ස්වර්ගය වෙනුවට සදෙවි ලොව වගේ වෙනත් වචන යොදාගනිමින් ඒ කාලෙටත් වඩා ජයට දැන් කරගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. හැම සංවිධානාත්මක ආගමක්ම එක වගේ. මෙතන ප්‍රශ්නය ආගම් නෙමේ. ආගම වවා ගෙන කන අය ගෙන් වගේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .